Featured Post

දිබ්බසෝතය (දිව්‍යමය ශ්‍රවණය) ලබාගන්නා ආකාරය




භාවනාවේ ආරම්භයේ සිට වශී දහහතර තෙක් ප්‍රගුණ කරනා ආකාරය අධ්‍යාත්මික වීම ලිපියේදී මම සම්පුර්ණයෙන් පැහැදිලි කළා. එම ලිපිය කියවීමට :- (මෙතන ක්ලික් කරන්න )


වශී ආකාර 14 මගින් සියලු කසිණ වශී කරගැනීමෙන් පසු හෝ
අඩුමතරමින් එක් භාවනාවකින් චතුර්ථ ධ්‍යානය ලබාගැනීමෙන් පසු දිව්‍ය ශ්‍රවනය ලබාගන්න පුළුවන්.

* ඒ සදහා පළමුවෙන් චතුර්ථ ධ්‍යානයට සමවැදී ඉන් අවදි වී පරිකර්ම සමාධි සිත පවත්වාගනිමින් අවටින් ඇසෙන සියලු ශබ්ද පිලිබද මෙනෙහි කල යුතුයි. ඉන් පසු මිනිසුන් ඇතුන් අශ්වයන් ගවයන් කුරුල්ලන් බල්ලන් පුසන් ආදී සතුන්ගේ ශබ්දත්, යාන වාහන උපකරණ ආදියේ ශබ්දත්, සුළග වැස්ස මුහුදු රළ අකුණු ගැසීම ආදී රළු ශබ්ද එකින් එක වෙන වෙනම සිහිපත් කල යුතුයි. එසේ කිරීමේදී තුන් යොදුනක් ඇතුලත සියලු ශබ්ද ඇසීමට පටන්ගන්නවා.

* මීලගට පිලිවෙලින් ඝන්ටාර ශබ්ද, සංගීත ශබ්ද, දේශනා සජ්ජායනා කරන ශබ්ද, කුරුල්ලන්ගේ ශබ්ද, මිනිස් කටහඩ, සුළගින් ඇතිවන ශබ්ද, ඇවිදීමේදී ඇතිවන අඩි ශබ්ද, උණුදිය නටන ශබ්ද, අව්වේ වේලෙන තල්පත් තණකොළ ආදියෙන් ඇතිවන ශබ්ද, කුඹින් ගේ ශබ්ද ආදී ලෙස රළු ශබ්ද වල සිට --> සියුම් ශබ්ද දක්වා අනුපිළිවෙලින් ශබ්ද නිමිති සිහි කල යුතුයි. ඒ ශබ්ද ඇසෙන තෙක් මේ විදියට අභ්‍යාස කල යුතුයි.

* මීලගට නැගෙනහිර දිශාවේ ශබ්ද, දකුණු දිශාවේ ශබ්ද ආදී ලෙස සියලු දිශා වල ශබ්ද වෙන වෙනම අරමුණු කල යුතුයි.

පරිකර්ම සමාධිය තුලදී මේ ශබ්ද ඉතා හොදින් ඇසෙනවා. නිතර නිතර පුරුදු කිරීමෙන් පස්සේ සාමාන්‍ය අවස්ථා වලදීත් ඇසෙන තත්ත්වයට පත්වෙනවා. මේ විදියට නැවත නැවත කිරීමේදී දිව්‍යශ්‍රොත ඥානය ඇතිවෙනවා.

එසේ ඥානය ලබාගැනීමෙන් පස්සේ තමන් වැඩු ධ්‍යානයේ පටිග්‍රහ නිමිත්ත ක්‍රම ක්‍රමයෙන් විශාල කරමින් හැකිතාක් අවකාශයක් පුරා පැතිරවීම කල යුතුයි. එසේ කිරීමෙන් තමන් නිමිත්ත පැතිරවූ අවකාශයේ ඕනෑම ශබ්දයක් අරමුණු කර ඇසීමේ හැකියාව ලැබෙනවා. හොදින් ප්‍රගුණ කිරීමෙන් ධ්‍යානයට සමවැදීම නොකර කෙලින්ම අභිඥාව තුලින් අවශ්‍ය ශබ්දයක් ශ්‍රවනය කරන්න පුළුවන්.

දිව්‍ය ශ්‍රොත ඥානය ලැබුණු විට අභිඥාව තුලදී ලෝකයේ විවිද ශබ්ද සියල්ල එකට ඝෝෂාවක් මෙන් ඇසුනත් තමන්ට අවශ්‍ය ශබ්දය පමණක් වෙන් කර ශ්‍රවණය කිරීමේ හැකියාව ලැබෙනවා.

දිව්‍යමය ශ්‍රවණය ලබාගත් පුද්ගලයන් හට තමන්ගේ කසිණ නිමිත්ත පැතිරවූ ප්‍රමාණය තාක් අනන්ත විශ්වය තුල සියලු ශබ්ද ශ්‍රවණය කිරීමේ හැකියාව් පවතිනවා. ළඟ ඇති ශබ්ද දුර ඇති ශබ්ද, ලොව එහා කෙලවර රටවල වුවත් මිනිසුන්ගේ රහස් සාකච්චා, පරසක්වල ශබ්ද ආදී සියල්ල ශ්‍රවණය කිරීමේ හැකියාව ලැබෙනවා.

දිබ්බසෝතය ලබාගැනීමෙන් කුහුබුවන් වැනි ඉතා කුඩා සතුන් එකිනෙකාට සන්නිවේදනය කරනා හඬවල් පවා ශ්‍රවණය කිරීමටත් ඒවායේ අර්ථ තෙරුම්ගනිමටත් හැකි බව බලන්ගොඩ ආනන්ද මෛත්‍රය හිමියන් දේශනා කර තිබෙනවා.
ඒ වගේම එමගින් ගස් එකිනෙකට සන්නිවේදනය කරන ආකාරයක්ද ශ්‍රවණය කිරීමට ලැබුණු බව මාගේ ගුරුවරයාගෙන් මා හට දැනගැනීමට ලැබී තිබෙනවා.


*** මීට පෙර ලිපියකින් දැක්වූ බුදුදහමේ සදහන් නොවෙන ඔරලෝසුවක් උපකාරයෙන් සිදුකරන භාවනාව( කියවීමට Click Here ) හොදින් ප්‍රගුණ කිරීමෙන් චතුර්ථ ධ්‍යානයට පෙර ප්‍රථම ධ්‍යාන අවස්ථාවේදීම දිව්‍යශ්‍රොත ඥානය තරමක් දුරට ලබාගන්න පුළුවන්.

මේ භාවනා වැඩීමෙන්  ඔබ අත්කරගන්නා පිං සක්‍ර දෙවියන්ටත් මගේ ගුරුවරයන්ටත් මටත් අනුමෝදන් කරන්න අමතක කරන්නෙපා..

Comments