Featured Post

බුදුන් උපන්නේ ලංකාවේ නොවන බවට සාක්ෂි (2)


ජම්බුද්වීප මිත්‍යාවේ ඇත්ත හෙළිකරමින්  බුදුන් ඉපදුනේ ඉන්දියාවේ බවට සාක්ෂි රාශියක් සහිතව ඔප්පු කරමින් මම ලිපියක් පල කළා. ඒ පළමු ලිපිය කියවන්න (මෙතන ක්ලික් කරන්න )

මේ වෙනකොට විශාල පිරිසක් ජම්බුද්වීප මිත්‍යාවේ ඇත්ත තේරුම් අරන් තියෙනවා. බුදුන් ඉපදුනේ ලංකාවේ කියල බොරු ඉතිහාස පතුරවන අය ඉදිරිපත් කරන සාක්ෂි වල තියෙන සාවද්‍ය බව ගැන ගොඩ දෙනෙක් කතා බහ කරන්න පටන් අරන් තියෙනවා. ඒ අතරින් ජම්බුද්වීප මිත්‍යාව පිළිබඳව ලංකාවේ ප්‍රවීණ භාවනා හා ධර්ම ග්‍රන්ථ රචකයෙකු වෙන නීතිඥ නිලන්ත හෙට්ටිගේ මහතා වීඩියෝ කිහිපයක්  නිර්මාණය කරලා තියෙනවා. ඒ වීඩියෝ වල ඉදිරිපත් කරලා තියෙන කරුණු ලිපියක් විදියට ඉදිරිපත් කරන්නයි මේ පොස්ට් එක ලියන්න හිතුවේ.  නිලන්ත හෙට්ටිගේ මහතාත් අධිමානසික විද්‍යාව පිලිබඳ පොත්පත් හා ලිපි පල කරන නිසා මේ බ්ලොග් අඩවිය එතුමාගේ කියලා වැරදි වැටහීමක් ඇති කරගන්න එපා. අපගේ භාවනා නිලන්ත හෙට්ටිගේ මහතා හෝ වෙනත් කිසිම භාවනා උපදේශකයෙකුගේ භාවනා වලට සමාන නෑ.  අපගේ ලිපි සඳහා ඔවුන් කිසිවෙකුගේ ලිපි උපුටාගෙනත් නෑ.



නිලන්ත හෙට්ටිගේ මහතා ඉදිරිපත් කර ඇති බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි කරුණු

* බුදුන් උපන් ලුම්බිණිය කියල  ලංකාවේ පෙන්නන තැන තහවුරු කරන්න පෙන්වන සල් ගස ලංකාවේ ශාකයක් නෙවෙයි මධ්‍යම ඇමෙරිකාවට අවේනික ශාකයක්. 18 ,19 සියවස් වල දේශාටකයන් උද්‍යාන ශාකයක් ලෙස ප්‍රචලිත කරපු ශාකයක්. ඇමෙරිකාවේ කැනොන් බෝල් ලෙසත්  ඉන්දියාවේ නාගලිංගම් ලෙසත් හඳුන්වනවා.

* බුදුන් ඉපදුනේ ලංකාවෙනම් සිංහල භාෂාවෙන් බන නොකීවේ ඇයි? සිංහල හෝ බ්‍රාහ්මි භාෂා වලින් බන කියල නෑ. බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ භාෂා විශාල ගණනක් අතුරින් මාගධී භාෂාව තෝරාගත්තේ  සමාජයේ සියලු දෙනා දන්නා භාෂාවක් නිසා කියල දේශනාවේ සඳහන් වෙනවා. පාලි හෙවත් මාගධී භාෂාව ලංකාවේ ජනතාව සාමාන්‍ය කතාබහ කරන භාෂාවක් ලෙස භාවිතා උනා කියල කිසිම ඉතිහාස සාක්ෂියක් ඇත්තේ නෑ. 

* බුදුන් සිටියේ ලංකාවෙනම් උතුරු ආසියානු ,නැගෙනහිර ආසියානු, නැගෙනහිර යුරෝපිය, අරාබි රටවලට ධර්මය පැතිරුනේ කොහොමද? විදේශ රටවල් වලට නැව් මාර්ග වලින් පහසුවෙන් සංචරණය කිරීමට  පුළුවන් උනේ සුදුජාතිකයන් රටවල්  ආක්‍රමණය කරන කාල වලදී. ඊට කලින්   මුහුදෙන් සංචාරය කිරීම ඉතාම දුෂ්කරයි. අර රටවල් සියල්ලටම ධර්මය ප්‍රචලිත කරන්න පුළුවන් උනේ ඉන්දියාවේ සිට ගොඩබිමෙන් ධර්මය ප්‍රචාරණය උන  නිසා.


* කිසිම ඉතිහාසඥයෙකු  2017 වෙනකම් බුදුන් ලංකාවේ ඉපදුන බවට පිළිඅරන් හෝ මතයක් ඉදිරිපත් කරලා නෑ. කිසිම විද්වත් භික්ෂුන් වහන්සේ නමක් බුදුන් ඉපදුනේ ලංකාවේ කියා පිළිඅරන් නෑ.

* ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ ජම්බුද්වීපය සතර මහා  දිවයින් වලින් එකක් කියලා. ඒ කියන්නේ මහාද්වීපයක් කියලා. ලංකාවේ මුහුදට යටවූ කොටස සමග බැලුවත් විශාලත්වය අනුව ලංකාව තියෙන්නේ 32 වන ස්ථානයේ. කුඩා මහාද්වීපයක් වෙන ඔස්ට්‍රේලියාවත් ලංකාව වගේ 7 ගුණයකට වඩා විශාලයි. මෙමගින් හොදින් පැහැදිලි වෙනවා ජම්බුද්විප් නම් මහාද්වීපය kiyanne කුඩා දිවයිනක් වෙන ලංකාව නොවෙන බව.

* ගංගා යමුනා ආදී සතර මහා ගංගාවන් ගැන බුද්ධ දේශනා  වල සඳහන් වෙනවා. ඉන්දියාවේ ඒ ගංගා තාමත් ඒ නම් වලින්මයි හඳුන්වන්නේ. ඒ ගංගාවන් පිළිබඳව සමකාලින හින්දු ග්‍රන්ථ වලත් ඒ නම් වලින්ම සඳහන් වෙනවා. ඒවායේ විශාලත්වය, ආරම්භය , මුහුදට එක් වන තැන් ආදීය ගැන ඇති ත්‍රිපිටක  තොරතුරු සියල්ල ඉන්දියාවේ ගංගා යමුනා නදින් වල පිහිටීම් වලට සම්පුර්ණයෙන්ම සමානයි.


බ්‍රහ්මදත්ත රජ මාලිගය
* බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුගේ   මාලිගාව තාම ඉතාම හොඳ නටඹුන් තත්වයෙන් පවතිනවා. බ්‍රහ්මදත්ත පරම්පරාව තාමත් ඉන්දියාවේ සිටිනවා.

*** බුදුන් වහන්සේගේ සමකාලින ශාස්තෘ  වරයෙක් උන නිගන්ටනාථ අදහන අනුගාමිකයන් තවමත් ඉන්දියාවේ ඉන්නවා. සැවැත් නුවර ආශ්‍රිතව තවමත් නිගන්ටයන් ඉන්නවා. බුදුන් සිටියේ ලංකාවෙනම් නිගන්ටයන් සිටිය යුත්තේ ලංකාවෙයි. බුදුරජාණන් වහන්සේගේ සමකාලින ආගම් වන ෂට් ශාස්තෘ වරුන්ගේ ඉගැන්වීම් වලින් එකක් තමා නිගන්ට ධර්මය. නිගන්ට ධර්මය වගේම අනෙක් ශාස්තෘ වරුන්ගේ අනුගාමිකයන් තාම ඉන්දියාවේ සිටිනවා. ඒ අනෙක් ශාස්තෘ වරුන්ගේ අනුගාමිකයන් කිසිවෙක් ලංකාවේ නැතිව බුදුදහම අදහන්නන් පමණක් ලංකාවේ සිටීමෙන්ම ඔප්පු වෙනවා බුදුදහම ලංකාවට ඉන්දියාවේ සිට පැමිණුන ධර්මයක් බව. අනෙක් ශාස්තෘවරුන්ගේ අනුගාමිකයන් ලංකාවට ආවේ නෑ. ඒ නිසයි ලංකාවේ ඒ ඇදහීම් නැත්තේ. මිහිඳු හිමියන් ධර්මය රැගෙන පැමිණුන නිසයි ලංකාවේ බුදුදහම විතරක් පවතින්නේ. ජම්බුද්වීපය ලංකාවනම් නිගන්ට අදහන අයත් ඈත අතීතයේ ඉදන් ලංකාවේ සිටිය යුතුයි.

*ලුම්බිණිය වටා ඉදිකර ඇති බෞද්ධ සිද්ධස්ථානය කාල නිර්ණය කලවිට ලංකාවේ හෝ වෙනත් කිසිම රටක එතරම් පැරණි කාලයට අයත් බෞද්ධ සිද්ධස්ථානයක් නැති   බව අනාවරණය කරගෙන තියෙනව.

* ලංකාවේ බුදුන් ඉපදුන බවට සාක්ෂි  විදියට ඉදිරිපත් කරන කාරණයක් තමයි සර්වඥ ධාතුන් සියල්ල ලංකාවේ තිබෙන බව පෙන්වීම. මේ ධාතුන් වහන්සේලා ඉන්දියාවේ සිට ලංකාවට ගෙන ආ විස්තර පැහැදිලිව ඉතිහාස ග්‍රන්ථ වල සඳහන් වෙනවා. ඒවා නොදන්නා   අය  තමයි මේ තර්ක ගේන්නේ.
ඈත කාලයේ රජවරු සිටි කාලයේදී වැඩමවූ ධාතුන් වලට අමතරව ලංකාවේ රජය කල ඉල්ලීමකට අනුව කනින්හම්ගේ දියණියකගේ මාර්ගයෙන් තවත් ධාතුන් වැඩමවා තියෙනවා.
කපිලවස්තුවෙන් හමුවූ ධාතුන්  වහන්සේලා තැන්පත් කල මංජුසා වල සැරියුත් මුගලන් රහතන් වහන්සේලාගේ නම් පැහැදිලිව ලියලා තියෙනවා.


* මේ වනවිට ඉන්දියාවේ බුද්ධාගම ප්‍රචලිත නැති වීමත් මොවුන් පෙන්වනවා බුදුන් ඉපදුනේ ලංකාවේ බව කියන්න. අශෝක අධිරාජයාගෙන් පසු රජවරු රජවරු බුදුදහමට සැලකුවේ නෑ. අශෝක රජුගේ කාලයෙන් අවුරුදු 100කට  පමණ පසු සිටි රජ කෙනෙකුට කුශිනාත         සෙන්පතියෙක් සිටියා. මේ සෙන්පතියා මෞර්ය රජුව මරා රජකමට  පත් උනා. මොහුගෙන් තමා ශුංග රාජ පරම්පරාව අරබෙන්නේ. මොහු අණ කළා සියලුම බෞද්ධ භික්ෂුන් මරණයට පත් කර හිස් ගෙන එන ලෙසට. ඒ අනුව විහාරස්ථාන 84000ක් විනාශ කළා.  සියලු භික්ෂුන් මරා දැම්මා. ඉන්   පසු ඉතිරි වූ විශාල ලස්සන වෙහෙර විහාර හින්දු පුසාරින්ට පවරා දුන්නා. එමනිසා ඉන්දියාව ක්‍රමයෙන් හින්දු ආගමික රටක් බවට පත් උනා. පසුව මහායාන බෞද්ධ ආගම ක්‍රමයෙන් ඉන්දියාවේ ප්‍රචලිත වෙන්න පටන්ගත්තත් 11 වන සියවසේදී ක්‍රි.ව.1193 පමණ කාලයේදී ඉන්දියාවට උන තුර්කි ආක්‍රමණ වලදී නැවතත් බෞද්ධ සිද්ධස්ථාන හා භික්ෂුන් විනාස කළා. නාලන්දා, වික්‍රමශිලා ආදී බෞද්ධ ස්ථාන ගිනි තබා විනාස කළා. ඒ නිසා ඉන්දියාවේ බෞද්ධ උරුමය විනාශ උනා. මේ නිසා තමයි අද  ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන සුලබ නැත්තේ. මේ ආක්‍රමණ පිළිබඳව ඉන්දියාවේ ඉතිහාස ග්‍රන්ථ වල   සඳහන් වෙනවා.


* කිසිම ඉතිහාස ග්‍රන්තයක බුදුන් ලංකාවේ ඉපදුන බව නෑ. ඉන්දියාවේ බෞද්ධ ඉතිහාස ග්‍රන්ථ විනාස උනත් අතීත සංචාරකයන්ගේ ලිඛිත සටහන් වල බෞද්ධ ඉතිහාස සිද්ධස්ථාන පිළිබඳව වාර්තා කරලා තියෙනවා.

* බුදුන් ඉපදුනේ ලංකාවෙනම් එය  මහාවංශයේ සඳහන් නොවෙන්නේ ඇයි? මහාවංශය බොරුවක්නම් බුදුන්ගේ ශාක්‍ය පෙළපත් රාජාවලියේ නැත්තේ ඇයි?

* ත්‍රිපිටකයේ සඳහන් වෙනවා ලංකා යන දීපය යකුන්ට අධිපති දීපයක් බව. ඒ අනුව මේ කියල තියෙන්නේ ශ්‍රීලංකාව පිළිබඳව කියල තහවුරු වෙනවා. ලංකාව කියල යකුන්ට අයිති දීපයක් ගැන සඳහන් වෙනවනම් ජම්බුද්විප් කියන්නේ ලංකාව වෙන්න විදියක් නෑ.

* ජම්බු කියන නම ඉන්දියාවෙන් කොටසකට තවමත් භාවිතා වෙනවා.  ජංබූ හා කාශ්මීර් කියලා ප්‍රදේශ දෙකක් ඉන්දියාවේ තියෙනවා. ඉන්දියාව ජම්බුද්වීපය කියල හඳුවපු අවස්ථා  හින්දු ආගමික ග්‍රන්ථ වලත් ජෛන ආගමික ග්‍රන්ථ වලත් දකින්න තියෙනවා.

*** සුත්‍ර පිටකයට අනුව ජම්බුද්විපයට අසලම රට කාම්භෝජය කියලයි සඳහන් වෙන්නේ. ඒ අනුව ජම්බුද්වීපය යනු ලංකාව නොවන බවට පැහැදිලියි. දින ගණන් ගමන් කල යුතු වාලුකා කාන්තාර ජම්බුද්වීපයේ ඇති බව සුත්‍ර  පිටක දේශනා වල සඳහන් වෙනවා. ලංකාවේ ඒ වගේ කාන්තාර ප්‍රදේශ කොහෙවත් නෑ.

* දැනට හොයාගෙන තියෙන පැරණිම ස්ථුපය ඉන්දියාවේ සාංචි ස්තුපයයි. ලංකාවේ ඇති ස්තුප ඊට වඩා පැරණි නෑ. ඉන්දියාවේ ඇති වෙහෙර විහාර නටඹුන් වල කාලය ලංකාවේ විහාර නටඹුන් වලට වඩා පැරණියි. බුදුන් සිටියේ ලංකාවෙනම් වඩාත් පැරණි වෙහෙර විහාර තිබිය යුත්තේ ලංකාවෙයි.

* පලවෙනි ධර්ම සංඝායනාව අජාසත් රජතුමා කරවුයේ. දෙවෙනි සංඝායනාව කාලාශෝක රජතුමා කරවුයේ. තුන්වෙනි ධර්ම සංඝායනාව ධර්මාශෝක රජතුමා කරවුයේ. මේ සියලු දෙනාම ඉන්දියානු රජවරු. ඒ වගේම මේ සියල්ල කලේ ඉන්දියාවේදී. බුදුන් ඉපදුනේ ලංකාවෙනම් ඇයි මේ සංඝායනා ඉන්දියාවේදී කලේ?

නිලන්ත හෙට්ටිගේ මහතාගේ වීඩියෝ වලට යොමු වීමට (මෙතන ක්ලික් කරන්න )

බුදුදහම විනාස කරන ජම්බුද්වීප මිත්‍යාව දැන් බිඳ වැටෙන්න පටන් අරන් තියෙනවා. ඒ නිසාම මේ   විකෘති පතුරවන අය තමන්ගේ බඩ වියත රැකගැනීම සඳහා මේ විකෘතිය ස්ථාපිත කරන්න හදනවා බොරු මවාපෑම් කරලා. එයාලා සාකච්චා කරන වෙලාවලදී හා ෆේස්බුක් පිටු හරහා මතයක් පතුරවනවා බුදුන් ලංකාවේ ඉපදුන බවට පුරාවිද්‍යා සාක්ෂි තියෙනවා කියලා. හැබැයි ඒවා මොනවද ඇහුවම පෙන්වන්න කිසිම දෙයක් නෑ. කිසි සාක්ෂියක් නැති උනත් තියෙනවා කියල බොරු මතයක් පතුරවනවා. බොරුවට වචනෙන් මවා පාලා ඇත්ත යටගහන්න උත්සහ කරනවා. එයාල අලුත් කතා හදලා අලුත් භාෂා හදලා වචන අර්ථ විකෘති   කරලා කොහොමහරි බොරු ටිකක් ගැටගහගන්න හදනවා විතරයි. මේ දේවල් වලින් හොදට   තේරෙනවා මේ අය කරන්නේ ධර්මය විකෘති කරලා බුදුදහම විනාස කිරීමේ කුමන්ත්‍රණයක්. ගැටලුව තියෙන්නේ ලංකාවේ අසරණ බෞද්ධයෝ මේවා එකපාරට පිළිගෙන ඔවුනුත් ධර්මය විනාශ කරන්න සහභාගී වීම. ඇත්ත දන්න ඔබ සියලු දෙනා මේ විකෘති දකින හැම වරකම මේවට විරුද්ද වෙන්න.

බුදුන් ලංකාවේ උපන්නා කියන අය සත්‍ය යට කරන්න කරන උපක්‍රමය තමයි බුදුන් ඉන්දියාවේ උපන්නා කියන අයට නිග්‍රහ අවලාද කිරීම. “දඹදිව වන්දනා කාරයා” “දේශද්‍රෝහියා” “සුද්දන්ගේ වහලා” “බුදුන් ඉන්දියාවට පටවන දෙමළා” “හෙළයන්ට ද්‍රෝහී උන පරයා” වගේ දේවල් කියල නිග්‍රහ කරලා එයාල මවල පෙන්නන්න හදනවා තමන් තමයි නියම හෙළයා කියලා, බුදුන් ඉන්දියාවේ ඉපදුනා කියන්නේ සුද්දා හදපු ඉතිහාසයක් පිළිගන්න රටට ආදරේ නැති මෝඩ මිනිස්සු කියල මවල පෙන්නලා මතයක් ගොඩනගලා තමන්ගේ විකෘතියට බලයක් ලබාගන්න මේ පිරිස දගලනවා. 
බුදුන් ලංකාවේ ඉපදුනා කියල පිළිගන්න මිනිස්සු තමයි ඇත්තටම විචාර බුද්ධියක් නැති මෝඩ මිනිස්සු. ඉතිහාසය ගැන දැනුමක් නැති ධර්මය ගැන දැනුමක් නැති ධර්මය ප්‍රයෝගිකව වඩා නැති අය ජාතිවාදී බොරු ඉතිහාසයක් ඇහුනාම එකපාරට ෆෝම් වෙලා ඒ බොරුව හිස්මුදුනින් පිලි අරන් ඇත්ත ඉතිහාසයට ගරහනවා. “සැඟවුණු ඉතිහාසය මතු කරනවා” “සුද්දෝ යට කරපු හෙළ අයිතිය මතු කරනවා” “රටට ආදරේ නියම හෙළයෝ”  වගේ වර්ණනා ටිකක් තමන්ට ආරෝපණය කරගන්න තියෙන ළදරු මානසිකත්වය නිසා තමයි ගොඩ දෙනෙක් මේ විකෘති ඉතිහාසය පිළිගන්නේ.

Comments

  1. Yogitthumani me lipiye thibena kkarunu sathyakda pitasakwala buduwarayeku gana
    http://www.adasrilanka.com/saga-planet-meghiya-buddha-and-outer-universe-secrets/#

    ReplyDelete
  2. Hema deyak genama godaak terum gatta. Budun paawa dila thamange nama presidda karaganna kaalakannith innawa. Me post eke hema deyakma tharkaanukulawa sadahan karala thiyenawa. Me karana sewayata obata godak pin.

    ReplyDelete
  3. මම හිතන් හිටියේ ඔබ නිලන්ත හෙට්ටිගේ කියල

    ReplyDelete

Post a Comment